රතට රතේ එරබදු මල්
සවන් පිනන කොහෝ ගැයුම්
සිතට නැගෙන නව පැතුමන්
සිහ අවුරුදු මුව හසරැල්


සිරිත් විරිත් හා යුතුකම්
ඉටු කරමින් එකතු වෙමින්
තරහ මරහ අතැර සිතින්
ගෙමි අවුරුදු අසිරි පැතුම්
වෙලාවට පසුත් බැරි
වෙලාවට පෙරත් බැරි
නැකත . . . .

කලට වෙලාවට, හරිම
තිතකටම කෙරෙන
නැකත . . . .

එකෙක් දෙකෙකුට නොව
හැමකෙකුට, රටකටම
නැකත . . . .

සියලු වැඩ අත් හැරා
එක සිතින්, එක වැඩක්
නැකත . . . .

කෑමටත්, බීමටත් සියලු
වැඩ ඇල්ලුමත්, එක වෙලේ
නැකත . . . .

වෙලාවට නොකෙරුනොත්
සිට යුතුය තව වසක්
නැකත . . . .

සාමය, සමගිය රැදූ
එකම සහයෝගයක්
නැකත . . . .
ප්ලෑන් එකක් එහෙම නැත්නම් සැලැස්මක් කියන්නේ අපේ වැඩක් හරියට, පිළිවෙලකට, වෙලාවට කරගන්න උදව් වෙන හොදම දෙයක් කිව්වොත් ඒකේ වරදක් නෑ. එදිනෙදා ජීවිතයේ සැලැස්මක් ඇතිව වැඩ කරනව නම් ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ලේසියි කියන කතාව ඔයාලත් අහලා ඇතිනේ. ජීවිතේ ප්ලෑන් එකකට අනුව වැඩ කරගෙන යනකොට ඒවා විටින් විට වෙනස් කරන්න වෙන්නේ දවසින් දවස අපේ ආශාවන්, අවශ්‍යතාවයන් වලට අනුව අපේ වැඩ කටයුතු වෙනස් වෙන හින්දයි. ඒ කොහොම වෙතත් ගොඩක් වෙලාවට ප්ලෑන් කියන එක කියපු අපේ හිතට එන්නේ, ගෙයක් හදනව නම් මේකක් ඕනැමයි කියලයි.


ඇත්තටම ගෙයක්, ගොඩනැගිල්ලක්, එහෙමත් නැත්නම් යම්කිසි ආකාරයේ ඉදිකිරීමකට නැතිවම බැරි වගේම, පළමුවෙන්ම හදා ගත යුතු දේ තමා ප්ලෑන් එක. මේ වගේ කාරණේකට ප්ලෑන් අදින්න අපි හැමෝටම බෑ. ඒකට ඒ විෂය සම්බන්ධයෙන් දැනුමක්, පළපුරුද්දක් ඇති කෙනෙක්ගෙ උදව්ව ගන්න වෙනවා. නිකමට හිතමු අපි ගෙයක් හදන්න යනවා කියලා. එහෙනම් මුලින්ම අපේ හිතට නැගෙන අදහසට අනුව, අපිට ගේ හදන්න ඕනෑ කොහොමද කියලා ප්ලෑන් එක අදින පුද්ගලයට කියන්න ඕනෑ. ඊට පස්සේ අදාල ගෘහ නිර්මාණ ශිල්පියයි ( ගෙයක් හදන්න ප්ලෑන් එකක් අදින්න ඕනෑ වුනොත් වැඩ්පුරම යන්නේ මේ පුද්ගලයා ගාවට තමයි ) අපියි කතා බහ කරලා ආර්ථික මට්ටම, ඉදිකරන තැනේ භූගෝලීය පිහිටීම, වැඩ අවසන් කරන්න ගත වන කාලය ආදිය සලකලා බලලා අපිට ඕනෑ ප්ලෑන් එක ඇද ගන්නවා.


අපි ඉදිකිරීම් වලට ගන්න ප්ලෑන් දැකලා ඇති. ප්ලෑන් එකක් අනුව ගෙයක් හදලා ඇති. ඒත් අපි කවදාවත් මේ ප්ලෑන් එකේ ඉතිහාසය ගැන හොයන්න නම් මහන්සි වෙලා නෑ නේද. හුටපටයා මේ කියන්න යන්නේ අපේ රටෙන් හම්බ වුණ පැරණිම ප්ලෑන් එකක් ගැන. මේ ප්ලෑන් එක ඔයලාත් දැකලා ඇති. ඒත් ඒ ගැන සැලකිල්ලක් ගත්තේ නැති නිසා ඒක මොකක්ද කියන එක ඔයාලට තේරුණේ නැතිව ඇති. කමක් නෑ. උඩින්ම තිබ්බ පින්තූරේ දිහා ආයිත් පාරක් හොදින් බලන්නකො.


මේක අනුරාධපුර කෞතුකාගරයේ තියෙන තවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් පුවරුවක්. මේක හොයාගෙන තියෙන්නේ
ජේතවනාරාම දාගැබ ප්‍රතිසංස්කරණ කටයුතු වලදි. දැනට වසරකට පමණ පෙර ප්‍රතිසංස්කරණය කරලා ඉවර වුණ ජේතවනාරාම දාගැබේ මුල්ම ප්ලෑන් එක මේ ගල් පුවරුවයි. ප්‍රතිසංස්කරණයට කලින් හරියට හැඩයක් නැති වෙන තරමටම හානි වෙලා තිබ්බ ජේතවනාරාම දාගැබ මේ ආකාරයේ හැඩයකට නැවත ප්‍රතිසංස්කරණය කරන්න මේ ප්ලෑන් එකෙන් උදව් අරන් තියෙනවා.


ඇත්තටම මේක පුදුම හිතෙන කාරණාවක් නේද. ක්‍රි.ව 276 - 303 කාලයේදී රජකම් කරපු මහසෙන් රජතුමා ඉදිකරන ලද, ලෝකයේ උසම ගඩොල් වලින් කරවන ලද නිර්මාණයක් වන ජේතවනරමයේ ප්ලෑන් එක මේ විදියට අදටත් දකින්න ලැබෙන එක. හිතලා බලන්න හැම දෙයක්ම ගොඩ නගන්න කලින් ප්ලෑන් එකේ වටිනාකම අද වගේම ඈත අතීතයෙත් ප්‍රයෝජනවත් වූ ආකරය.


හැම දේකටම, හැම වෙලාවටම ප්‍රයෝජනයක් නැති වුනත්, ප්ලෑන් එකක් අපේ සාර්ථකත්වය කරා ගෙනියන්න කරන්නේ ලොකු උදව්වක්. අපිට පුලුවන් වුනොත් අපේ වැඩ වලටත් හොද ප්ලෑන් එකක් හදා ගන්න ඒක අපේ වැඩේට පහසුවක් වගේම, හොද අවසානයකුත් ලබා දෙයි. ඔයාලත් ප්ලෑන් එකකට අනුව වැඩ කරලා ජීවිතේ සාර්ථකත්වයකට ලගා වෙන්න, හිතා ගන්න හොදේ.