මං මේ කියන්න යන කතාව ටිකක් අමුතු වෙන්න පුලුවන්. ඇත්තම කියනව නම් මං මේ සිද්ධිය දකිද්දිත් මට මාර අමුත්තක් දැනුණා. මොකද මාත් ජීවිතේ පළමු වෙනි වතාවට තමයි මෙහෙම දෙයක් දැක්කේ. වැඩිය විස්තර කියන්නේ නැතිව දැන් හදන්නේ මං දකපු දේ කෙලින්ම ඔයාලට කියන්නයි.


වෙලාව හවස 6 ට විතර ඇති. ඇත්තම කියනව නම් මං මේ වෙලාවේ හිටියෙ පුදුම තරහකින්. මොකද මං යන බස් එක යනව නෙමෙයි ගාටනවා. ඒක බස් එකේ ඩ්‍රයිවර්ගේ වරදක් කියලා ඒ මනුස්සයට බනින්නත් බෑ. වැස්සයි, ට්‍රැපික් එකයි නිසා බස් එක හෙල්ලෙන්නෙ වත් නැතුව එකම තැන ඉන්නවා. අලුතෙන්ම ගිය ජොබ් එකේ දෙවෙනි දවසෙම, හරි නැති වුනත් කලින්ම පැන ගත්තේ වැදගත් වැඩකට ඉක්මණටම මහරගමට එන්න ඕනේ නිසා. මගේ කරුමයක් පල දීලද කොහේද බස් එක ට්‍රැපික් එකේ හිරවෙලා.


මෙන්න එක පාරටම බස් එකේ සෙටප් එක දැම්මා. ඒ වෙලාවේ ඒකේ ගියේ හොද නැගලා යන සින්දුවක් . .
" ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . . මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . . "
බස් එකි බෆල් 3 ක් විතර සෙට් කරලා තිබුණ නිසා සවුන්ඩ් කොලිටි එක නම් නියමෙටම තිබුණා. මමත් නිකන් වටපිට සර්ච් එකක් දැම්මා. සාමාන්‍යයෙන් බස් එකක යද්දි වටේ පිටේ පොඩි සර්ච් එකක් දාලා කොහොමද කියල බලන එක මගෙ පුරුද්දක්. මෙන්න බොලේ බස් එකේ මිනිස්සු ඔක්කොම වගේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ පැත්ත දිහා බලන් ඉන්නවා.


ෂක් . . මරුනේ . . . බස් එකේ ටී. වී එකක් දාලා. ඇත්තම කියනව නම් මාත් ඒ වෙලාවේ තමා දැක්කේ මං ආපු බස් එකේ ටී.වී එකක් තිබුණා කියලා. මේක මං විතරක් නෙමේ බස් එකේ හිටපු හැමෝටම අලුත් අත්දැකීමක්. මාත් මේ බස් එකක ටී.වී එකක් දාගෙන යනවා දැක්කමයි. අනික මං නැග්ගේ ඉන්ට්‍රසිටි බස් එකකටත් නෙමේ.


ඒක නෙමේ මේ කතාවේ හොදම හරිය. මේ ටී.වී චැනල් එක අමුතුම තාලේ චැනල් එකක්. එකේ නම බස් ටී.වී. මේ චැනල් එකේ යන්නේ සින්දුයි, වෙළද දැන්වීමුයි විතරයි. මේ චැනල් එක හදලා තියෙන්නේ බස් වල යන එන අයට විතරමයි. ඒ නිසා මේකේ ටෙලිඩ්‍රාමා, නිවුස් වගේ වෙනත් ආකාරයේ වැඩසටහන් මොකුත් යන්නේ නෑ. හැම වෙලේම යන්නේ සින්දු විතරමයි.


බස් ටී.වී කියන්නේ හොද මාර්කටින් කන්සෙප්ට් එකක් කියලා තේරෙන්න මටත් ටික වෙලාවක් ගියා. මොකද ඒ වෙලාවේ බස් එකේ හිටපු හැමෝම වගේ කන් දීගෙන, ඇස් ඇරගෙන බස් ටී.වී එක දිහා බලාගෙන ඉන්නවා. ගෙදරදිට වඩා මෙතනදි අවධානයක් යොදලා හැමෝම ටී.වී එක බලන් ඉන්නවා කියලයි මට හිතුනේ. ගෙදර වගේ ටී.වී බලන ගමන් වෙන වැඩක් කරන්නත් බෑ. ඒ හිරවුණ ට්‍රැපික් එකේ හැටියට බස් එකේ ඉන්න මිනිස්සුන්ට ටී.වී එක බලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. ඉතින් මේ බස් ටී.වී එකේ වෙළද දැන්වීමක් දැම්මොත් ඒක නිකන්ම ප්‍රොමොට් වෙනවනේ.


ඔයාලත් සමහර විට මේ බස් ටී.වී එක දැකල ඇති. නැත්නම් ලගදිම දකින්න පුලුවන් වෙයි. එහෙම වුනොත් බලන්නකො හුටපටයා කියපු දේවලුත් ගැලපෙනවද කියලා.


රුදුරු ත්‍රස්තයො බිමෙන් අතුගා
දමන අරමුණ සිතෙහි රදවා
පෙරට විත් තම දිවිය පරදා
කරපු සේවය වේය අගනා
රැයෙහි දහවලෙ වෙනස නැතුවා
නොබිය සිතකින් සටන් වැදුනා
ලංකා මාතා රැක්ක විරුවා
වීර පුතණුව නුඹය සැමදා . . .

ඇවිත් නුඹ ඉගිල ගියෙ සංවේදි හදවතට
ආදරේ නාමයෙනි පිදුවෙ සෙනෙහස නුඹට
සිත අරන් ඉගිල ගියෙ මගෙන් නුඹ බෝ දුරට
හිතුවෙ නෑ කිසි දිනක විදවන්න මෙච්චරට

අතීතය සිහිනයකි උදාවන හෙට දිනට
කදුලු මතකය උරුම සිතන විට හැමදාට
සුසුම් සැලුවත් නැතත් නොලැබේවි කල්පයට
එපා සුකොමල වදන් මා මියෙන තුරාවට

මුලින්ම කියන්න ඕනෑ මේ ආටිකල් එක වැඩක් ඇති එකක් වෙන්නත් පුලුවන් ඒ වගේම කිසිම වැඩක් නැති එකක් වෙන්නත් පුලුවන් කියලා. එතකොට ආටිකල් එක කියවලා, මේක කිසිම වැඩක් නැති එකක් කියලා, මට බනින අය ටිකක් හරි අඩු වෙයිනේ. කොහොම වුනත් මේක මට විතරක් පෙනුන දෙයක් නම් නෙමේ. තවත් ගොඩ දෙනකුට මේක දැක ගන්න ලැබුනලු. ඉතින් මං හිතුවා මේ ගැන ඔයාලටත් කිව්වොත් හොදයි කියලා.


සමාධි පිළිමය කිව්වහම අපි ගොඩ දෙනෙකුටම මතක් වෙන්නේ අනුරාධපුර සමාධි පිළිමය. මොකද අනුරාධපුර සමාධි පිළිමය නොදැකපු කෙනෙක් හොයා ගන්න අමාරු තරම්. බුදුරජාණන් වහන්සේ සමාධි ඉරියව්වෙන් වැඩ සිටින, ගලින් නිමවූ පිළිම අතර අනුරාධපුර සමාධි පිළිමය ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. මේ පිළිමය සොයා ගත්ත ස්ථානයේම, ප්‍රතිසංස්කරණය කරලා අදටත් දැක ගන්න පුලුවන්. තොලුවිල සමාධි පිළිමයත් ඉතා ඉහල කලාත්මක නිර්මාණයක්. අනුරාධපුර සමාධි පිළිමය තරම් ප්‍රසිද්ධියක් නැති වුනත් සමාධි පිළිම ගැන කතා කරද්දි අමතක කරන්න බැරි නිර්මාණයක්.තොලුවිල සමධි පිළිමය ප්‍රතිසංස්කරණය කළාට පස්සේ කොළඹට ගෙනාවා. කොළඹ ජාතික කෞතුකාගාරයට ඇතුල් වන දොරටුව ඉදිරිපසම දක්නට ලැබෙන්නේ තොලුවිල සමාධි පිළිමයයි.


මං මේ ආටිකල් එකේ දාලා තියෙන්නේ ඒ පිළිම දෙකේම අසමශිලී නිර්මාණකත්වයට සමාන කළ හැකි වූ තවත් එක් සමාධි පිළිමයක්. මේ පිළිමය හම්බ වුනේ අනුරාධපුර කෞතුකාගරයෙන්. දැන් මං හදන්නේ වැඩිය විස්තර කරන්නේ නැතිව මං කියන්න හිතාගෙන ආපු දේ ඔයාලට කියන්නයි.


මුලින්ම බලන්නකො ආටිකල් එකේ උඩින්ම තිබ්බ පින්තූරය දිහා. මේක සමාධි පිළිමයේ ඉදිරිපස. බුදුරජාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් ලෝකය දිහා බලන ආකාරයයි මේ ඉරියව්වෙන් පෙන්නුම් කරන්නේ.හොදට නිරීක්ෂණය කරලා බැලුවොත් පිළිම මුහුනේ තියෙන ශාන්තභව දකින්න අමාරු වෙන්නේ නෑ.







දැන් පැත්තෙන් තියෙන පින්තූරය බලන්නකො. බලන්න මුහුනේ දුක්මුසු ඉරියව්වක් පේනවද කියලා.මේක පින්තූරයක් නිසා පිළිම මුහුනේ තාත්වික බව මතු වෙලා පෙන්නේ නෑ. ඒ නිසා මං කියන දේ ඔයාලට නොපෙනෙන්නෙත් පුලුවන්. එහෙම වුනයි කියලා මට බනින්න නම් එපා හොදේ. මං ආටිකල් එකේ මුලින්ම කිව්ව විදියට පිළිමයෙන් මට පෙනුනු දේ, පින්තූර වලින් පෙනෙනවනම් එයාට මේක වැදගත් ආටිකල් එකක් වේ. එහෙම නැති කෙනෙකුට මේක කිසිම වැදගත් කමක් නැති ආටිකල් එකක් වෙන්නත් පුලුවන්.







දැන් පිළිම මුහුනේ දකුණු පස බලන්නකො. සිනාසෙන මුහුනක් දකින්න පුලුවන්ද. එහෙම පෙනුනා නම් මං ආටිකල් එක දාපු එකේ වටිනාකමක් තියෙනවා. එකම පිළිමයක මුහුනේ තුන් පැත්තකින් ඉරියව් තුනක්. පුදුමයි නේද.


ඒ වගේම තමා මං කියන දේ කාට හරි නොපෙනුනා නම් ඒක එයාලට තමන්ගේ පියවි ඇසින්ම දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මං ආටිකල් එකේ මුලින් සදහන් කරපු පිළිම වුනු අනුරාධපුර සමාධි පිළිමයත්, තොලුවිල සමාධි පිළිමයත්, එහෙම නැත්නම් මේ පින්තූර දාල තියෙන අනුරාධපුර කෞතුකාගරයේ සමාධි පිළිමයත් ආයිත් පාරක් දැකපු වෙලාවක හොදට නිරීක්ෂණය කරලා බලන්න මං කියන දේ පේනවද කියලා.


අනුරාධපුර සමාධි පිළිමය සොයා ගන්න අවස්ථාවෙදි එහි නාසය කැඩිලයි තිබිලා තියෙන්නේ. ඒ නිසා පිළිමය ප්‍රතිසංස්කරණය කොට නාසය හා මුහුනේ කොටසක් අලුතින් හදලා තියෙනවා. ඒ නිසා මුහුනේ ඉරියව් මෙලෙස විවිධ ආකාරයට පෙනෙනව කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඒත් අනිත් පිළිම දෙක පෙර කළ පැවති ස්වරූපයෙන්ම අදටත් දකින්න පුලුවන්.


තවත් කාරණයක් තියෙනවා. මේ පිළිම හැම එකකම ඇස් වලට මැණික් ගල් පලදවලා තිබිලා තියෙනවා. නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වෙලා අද වෙනකොට ඒ පලදවපු මැණික් ගල් දකින්න ලැබෙන්නේ නෑ. ඇස් වල වුනු මේ වෙනස්කම නිසා මුහුනේ විව්ධ පැති වලින් විවිධ ඉරියව් ආවා කියලත් මතයක් තියෙනවා. මොකද සමහරු කියන්නේ බුදු පිළිමයක සිනාසෙන හා දුක් වෙන ඉරියව් නිරූපණය කරන්නේ නෑ කියලා.


කොහොම වුනත් මේ ආටිකල් එක සංවාදයට විවෘතයි. ඔයාලට මේ ගැන හිතෙන දේත් කියලම යන්න.